Header Ads

ඔබට ‘පිළිකාව’ නැති බව තහවුරු කරගන්න

මෑතක පටන් පිළිකාව කියන තත්ත්වය හැම දෙනාම බය ගන්වන දෙයක් වෙලා. මුඛ පිළිකා, ගැබ් ගෙල පිළිකා, පුරස්ථ ග්‍රන්ථි පිළිකා, පියයුරු පිළිකා මේ ආදී වශයෙන් ඇඟේ හැම තැනම ඇති වන පිළිකා ගැන දැන් කතා වෙනවා.
ඇත්තටම අපේ ඇඟේ පිළිකාවක් තිබෙනවාද කියලා දැනගන්නේ කොහොමද? කලින් දැන ගත්තොත් පිළිකාවක් පැතිරීම වලක්වා ගන්න පුළුවන් කියලත් කියවෙනවා.
ඇත්තටම පිළිකාවක් කලින් හඳුනා ගන්නේ කොහොමද?

අද අපි ඔබේ අවධානය යොමු කරන්නේ පිළිකාවක් යයි සක කරන්නට පුළුවන් වන ශාරීරික වෙනස් කම් කිහිපයක් ගැන. නමුත් සිහි තබා ගන්න. මෙවැනි ලක්ෂණ ඇති වු පමණින් ඔබට පිළිකාවක් තිබෙනවාය කියා අනිවාර්යෙන් කියන්නට බැහැ. සැක කරන්නට පුළුවන් වනවා පමණයි.

නමුත් මෙවැනි යම් ලක්ෂණයක් තිබෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම නම් කල යුතුමයි. ඒ මගින් තවත් අවශ්‍ය පරීක්ෂණ සිදු කරලා ඔබට ඇති සැකය ඉවත් කරගන්නට පුළුවන්.

මුඛ පිළිකාව

* මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කළ නොහැකි සුදු හෝ රතු ලප.
* කල් පවතින ඉවත් කළ නොහැකි සුදු සහ රතු මිශ්‍ර ලප.
* මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග තොල් සහ මුඛ ශ්‍ලේෂ්මල රළුවීමක් සහ සුදුමැලිවීමක්.
* මුඛයේ සුවනොවන තුවාලයක්.
* දිව නැමීමේ හෝ මුඛය විවෘත කිරීමේ අපහසුවක්.

ගලනාළ පිළිකාව
* සති තුනකට වඩා පවතින ක්‍රම ක්‍රමයෙන් ඇතිවන ගිලීමේ අපහසුවක්.
* ගිලීමේදී වේදනාවක්.
* ශරීරයේ බර අඩුවීමක්.

මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකාව
* මලපහ සමග ‍ලේ පිටවීමක්.
* මලපහ කිරීමේ වෙනසක්
* නිතර නිතර ඇතිවන මල බද්ධය හෝ පාචන ස්වභාවයක් හෝ ගුද මාර්ගයෙන් ‍ලේ පිටවීමක්.
* මලපහවල හැඩය පෙරට වඩා සිහින් වීමක්
* මලපහ කිරීමෙන් පසුවද මලපහ කිරීමේ අසම්පූර්ණ බවක් දැනීම
* උදරයේ වේදනාවක්
* අනපේක්ෂිත ලෙස ශරීර බර අඩුවීමක්

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව
* තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීමක් හෝ වෙනසක්
* ගෙලෙහි වසා ගැටිති ඉදිමීමක්
* ගෙලෙහි වේදනාවක්
* හේතුවක් නැති කඩහඩ් රළුවීමක්
* දිගටම පවත්නා ගිලීමේ අපහසුවක්
* හුස්ම ගැනීමේ අපහසුවක්

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව
* අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරීමේ අපහසුතාවයක්
* මුත්‍රා කිරීම ඇරඹීමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනීමේ අපහසුතා
* මුත්‍රා කිරීමෙන් පසු සම්පූර්ණ මුත්‍රා පිටනොවුණාක් මෙන් දැනීම
* නිතර නිතර මුත්‍රා පිටවීම.
* රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩිවීම.
* මුත්‍රා සමග ‍ලේ පිටවීම.

පියයුරු පිළිකාව
* පියයුරුවල හැඩයේ වෙනස්වීමක්
* පියයුරු මත ගැටිත්තක්. දදයක්. ඉදිමීමක් හෝ තුවාලයක්.
* පියයුරු මත දොඩම් ලෙල්ලක් මතුපිට වැනි සමේ වෙනසක්.
* තනපුඩුවේ ගිලීයාමක්.
* පියයුරුවල ගැසීමක්.

ගැබ්ගෙල පිළිකාව
* යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්.
* ලිංගික එක්වීමකින් පසු රුධිර වහනයක්.
* යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයක් සහිත ස්‍රාවයක් පිටවීම.
* මාස් ශුද්ධිය නැවතීමෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමක්.


මෙවැනි රෝග ලක්ෂණ සති තුනකට වඩා පවතී නම් ඔබේ ප්‍රදේශයේ සුවදිවි සායන, සුවනාරි සායන, හෝ ළඟම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරීක්ෂා කරවා ගැනීමෙන් පිළිකා කලින් හඳුනා ගැනීම මගින් පිළිකාව නිට්ටාවටම සුව කර ගැනීමට ඔබට පුළුවනි.
පිළිකාව කියන්නේ නිශ්චිත රෝග ලක්ෂණ ඇති රෝග තත්ත්වයක් නොවෙයි. ඒ වගේම මෙහි දක්වා ඇත්තේ ලංකාවේ සුලබව වාර්තා වන පිළිකා තත්ත්ව කිහිපයක් ගැන පමණයි.

No comments